Saturday, February 4, 2012

කියන්නේ කොහොමද........

අඬන්න එපා කියල ඇස් වලට කියන්නේ කොහොමද
කඳුළු වැටෙන කොට..
සහින දකින්න එපා කියන්නේ කොහොමද
ඔයාව පේන කොට.....
අමතක කරන්න කියන්නේ කොහොමද
ඔයාව මතක්වෙන කොට.....
ආදරය කරන්න එපා කියන්නේ කොහොමද
ඔය ඉන්න කොට.........

Saturday, January 21, 2012

පෝස්ටර්වලින් කිරි නිපදවන ඉන්දියානුවෝ


නගරයේ තාප්පවලින් ගලවා ගත් පෝස්ටර් මිටියක් රැගෙන එන ඉන්දියානුවා ඒවා කැබලිවලට ඉරා වතුර බේසමක දමා පොඟවයි. කඩදාසිත්, ඒවා ඇලවීමට භාවිතා කළ ‌තිරිඟු පිටිත්, ජලයත් මිශ්‍ර කිරීමෙන් සාදන ලද පල්පය හොඳින් කලතා පසෙක තබයි. කුඩාවට කපාගත් වියළි බඩ ඉරිඟු ගස් කැබලි සහ වෙනත් ආහාරයට ගතහැකි වියළි ද්‍රව්‍ය ඔහු ඒ පල්පය සමඟ මිශ්‍ර කරයි. ගුලි සාදා ගැනීමට තරමට දැන් ඒ පල්පය ඝනකම් වී ඇත. ලොකු අග්ගලාවක් ප්‍රමාණයේ ගුලි සාදාගන්නා ඔහු ඒවා රැගෙන උපන් දා සිට මිය යනතුරුම අමු තණකොළ ගසක් නොදකින තම එළදෙන වෙතට යයි. දරුවෙකුට බත් කවන අම්මා කෙනෙකුන් සිහිගන්වමින් එළදෙනගේ හිස අතගාමින් ද කිනිතුල්ලන් කඩමින් ද ඔහු ඒ ගුලි සියල්ලම හෙමින් එළදෙනට කවයි. මේ කවන පෝස්ටර් ගුලි සියල්ල හෙට උදයේ සුදෝ සුදු කිරි බවට හරවා නැවත තමාට ලබාදෙන මැෂිම මේ එළදෙන බව ඔහු හොඳින් දනියි. එපමණක් නොව, මිනිරන් හා සමාන වටිනා කළු ගොම තලියක් ද මේ මැෂිමෙන් ලැබෙන බව ඔහු දනියි. ඒ මැෂිමට සමාන වෙනත් මැෂිමක් මිහිපිට නැති බව ද ඔහු හොඳින්ම දනියි. පොප්ස්ටර්වලින් කිරි නිපදවන මේ මැෂිමට දේවත්වයෙන් සැළකීමේ කිසිදු වරදක් මේ ඉන්දියානුවා කිසිසේත් නොදකියි.

එළකිරි සහ ඉන්දියාව යනු ඉතා ළඟ හිතවතුන්ය. ඉන්දියාවේ ජනගහණයට පෝෂණ අවශ්‍යතා සැපිරීමේදී එළකිරිවලින් වන මෙහෙය අති විශාලය. එය ඉන්දියාව පුරා විහිදුණු කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා වන කර්මාන්තයක් ද වෙයි. ආචාර්ය කූරියන් විසින් ආරම්භ කරන ලද ක්ෂිර විප්ලවය ජයගෙන කිරියෙන් ස්වයංපෝෂිත ඉන්දියානුවෝ අද උත්සාහ කරනුයේ කිරි අපනයනය කර ආදායම් ලැබීමටය. අපේ රටේ තිබූ කිරි මණ්ඩලය, ඉන්දියාවෙන් කිරිපිටි ගෙන්වන අමුල් සමාගම බවට පත්වීම එහි ප්‍රතිඵලයකි. අද වනවිට එය නැවත හයිලන්ඩ් හෙවත් මිල්කෝ නමින් දේශීය කිරි ගොවියාගේ කිරි එකතු කර බෙදාහරින දේශීය රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබීම සම්බන්ධයෙන් ඉන්දියාව කිසිසේත් ප්‍රසාදයක් නොදක්වයි.

ඉන්දියාවේ කිරි කර්මාන්තය යනු අහිංසක කර්මාන්තයක් ම නොවේ. නිසි උපාය මාර්ගයකට අනුව ස්ථානගත කර ඇති එය තවත් අසල්වැසි රටක් වන ලංකාව කිරියෙන් ස්වයංපෝෂිත වීම නොරිස්සනුයේ ඒ උපාය මාර්ගයට සාපේක්ෂවය. ඉන්දියාවේ ඉලක්කය ලංකාව ඉන්දියාවෙන් කිරි මිළදී ගන්නා ගැගණුම්කරුවෙකු පමණක් බවට පත්කර ගැනීමය. එනම් කිරි අතිරික්තය ආදායම් මාර්ගයක් බවට පත්කර ගැනීමය.

වසරක් පාසා ඉන්දියාවේ වෙසෙන සෑම එළදෙනෙකම පැටවකු බැගින් ප්‍රසූත කරයි. එක් වසරකදී ඉහළ යන ඉන්දියාවේ ගව ගහණය විශාල අගයකි. එය ඉන්දියාවට දරාගත හැක්කක් නොවේ. ගවමස් නොකන ඉන්දියාව සෑම වසරකම අලුතින් එකතුවන ගවයන් ප්‍රමාණයට හරියන වයසක ගවයන් ප්‍රමාණයක් අසල්වැසි බංග්ලාදේශ හා පාකිස්තානු දේශ සීමාවන් දෙසට පිටත් කර හරියි. මුස්ලිම් රටවල් වන ඒ දෙරටටම ගවයා දෙවියකු නොව ප්‍රධාන ආහාරයකි. ඉන්දියාව ඒ බව නොදන්නවා නොවේ. ඔවුන්ගේ අවශ්‍යතාවය ද එයමය. ඉන්දියාවෙන් පිටවන ගවයා පණ පිටින් හිඳිමින් නැවත පැටවුන් බෝ කරමින් කිරි නිපදවන යන්ත්‍රයේ කාර්යය ඉටුකිරීම ඉන්දියාවේ ක්ෂීර ආර්ථිකමය උපාය මාර්ගයට එරෙහිව යාමකි. ඔවුන් මසට මැරිය යුතුමය. නමුත් ඉන්දියාව විසින් නොවේ. එනිසා ඒ දෙනුන්ගෙන් කිරි නොව මස් ලබාගන්නා බවට සහතික පකිස්ථානයට හා බංග්ලාදේශයට නොමිලයේ ගවයින් සැපයේ. ශ්‍රී ලංකාවේ පශු සම්පත් මණ්ඩලයේ මේ ලියුම්කරු අධ්‍යක්ෂවර‍යකු වශයෙන් කටයුතු කරන කාලයේ මුදලට ගවයින් දෙසියයක් ඉන්දියාවෙන් මිළදී ගැනීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වූයේ ඉහත හේතුව නිසාවෙනි.

නවසීලන්තයේ කතාව මීට මඳක් වෙනස්ය. එහි ගවයා දේවත්වයෙන් පිදීමක් සිදුනොවේ. ගවමස් ඔවුනගේ ප්‍රධාන ආහාරයකි. කිරි ලබාගෙන එරටේ නැවුම් කිරි වශයෙන් භාවිතා කළ පසු ඉතිරිවන ප්‍රමාණය කල් තබාගැනීම සඳහා ඒවා විසිර වියලන ((Spray dried ) ක්‍රමයට තබාගත යුතුමය. එනම් කිරිපිටි බවට පත්කළ යුතුය. ඒ කිරිපිටි ඔවුනගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. ලංකාව වැනි හොඳ කිරි තිබියදී රොඩු පිටිකිරි බොන ජනතාවක් සිටින ආසියාවේ වෙනත් රටවල් ඔවුනගේ වෙළඳ පොළය. කිරිවල ඇති කිරි මේදය ඉවත් කරගෙන ඒ වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශයන් යොදා සාදාගන්නා පිටිකිරි රොඩ්ඩ මෙරට වෙළඳපල තුළ නැවුම් ම නැවුම් කිරි ලෙස පෙනී සිටියි. එපමණක් නොවේ නවසීලන්තයේ කිරි ලීටරයක සාමාන්‍ය මිළ රුපියල් දෙසීයකි. නමුත් ලංකාවට එනවිට නැව් ගාස්තු ද සමග එහි මිළ ලීටරයක් රුපියල් 30 ක් පමණක් වේ. මේ අරුම පුදුම මිළ අඩුවීමට ප්‍රධාන හේතුව නවසීලන්ත රජය මගින් ලබාදෙන සහනයන්ය. එම සහනයන් යටතේ අඩු මිළ ඒ කිරිපිටි රොඩු මෙරටට පැමිණෙන තාක් කල් දේශීය කිරි ගොවියා කෙලින් සිටවීම කළ නොහැක.

මෙරට වෙසෙන ගව ගහණය ලක්ෂ 15 කි. ඉන් කිරි දොවනුයේ ලක්ෂ දෙකහමාරක පමණි. ඒ ප්‍රමාණය රටේ අවශ්‍යතාවයෙන් 15 % කි. එනම් රටේ අවශ්‍යතාවයට සරිලන ගව ගහණයක් අපට සිටී. රට පිටිකිරිවල මිළ දේශීය කර්මාන්තකරුවාගේ මිළට වඩා ඉහළින් තැබිය යුතුය. මෙය බරපතල දේශපාලන තීන්දුවකි. අපහසු දේශපාලන තීන්දුවකි. නමුත්, ඒ තින්දුව නොගතහොත් වසරකට ඩොලර් මිලියන 300 ක මුදලක් බැගින් වාර්ෂිකව පිටිකිරි ආනයනය සඳහා වියදම්වීම දරාගත යුතුය.

2009 දී ඩොලර් මිලියන 2200 ක් වූ වාර්ෂික ආනයන අපනයන හිඟය 2010 දී ඩොලර් මිලියන 5500 කි. 2011 දී මේ අගය ඩොලර් මිලියන 10,000 ඉක්මවා ඇත. මේ යන ගමන වළක්වාලීමට නම් අනීවාර්යයෙන් නිරපරාදේ අප පිටරට යවන මුදල් ඉතිරි කරගත යුතුමය. නොඑසේ නම් ඊළඟ වසරේදී එය ඩොලර් මිලියන 20,000 ක් වූ පසු අපගේ සියළු අම්මලා සහ සහෝදරියන් ගෘහ සේවයට පිටරට පැටවූවද ඒ මුදල සොයාගැනීමට නොහැකි වනුඇත. (දැනට අප සතු හොඳම විසඳුම ලෙස උපදේශකයින් දක්වන්නේ මේ විසඳුම බැවිනි).

අප අපේ රටේ දේ මිළදී ගතයුතුය. හොය හොයා අපේ දේ ගතයුතුය. පිටරට දේට ඇති දේශීය ආදේශකවලට හුරුවිය යුතුය. අඩම්බරයෙන් ඒවා මිළදී ගන්නා දේශප්‍රේමීන් බවට අප පත්විය යුතුය. අපගේ දරුවන් වෙනුවෙන් එසේ කළයුතුය. තණකොළ කිරි බවට හරවන මැෂිම සහ අපේ ජන ජීවිතය අතර වන බැඳියාව තව තවත් වැඩි දියුණු කරගත යුතුය.

පැරණි පොතක මෙසේ සටහන්ව ඇත. “ එළදෙන සහ තණකොළ සමානයි කිරි වේ. නමුත් තණකොළ සහ එංගලන්තයේ මහ රැජින සමානයි එසේ නොවේ. “ ඒ තරමටම මේ තණකොළ සහ එළදෙන සුසංයෝගය ප්‍රබලය. වැඩදායකය. ප්‍රතිඵල ගෙනදෙන සුළුය. ඒ සුසංයෝගී සම්පතින් ආඩ්‍යව නමුත්, එය පරිභෝජනයෙන් වැළකී සිටින්නට තරම් තකතීරු වූ අපේ මනෝභාවයන් වහ වහා අප විසින් දුරුකළ යුතුය. කිරි නොගන්නා දෙනුන්ගේ කිරි දොවන, ඒ කිරියෙන් දේශය පෝෂණය කරන ජාතියක් බවට අප පත්විය යුතුය. එපමණක් නොව අප අපගේ තණකොළ සම්පත ද රැකගත යුතුය. නොයෙක් වර්ගයේ තෘණ ජාතීන්ගෙන් පොහොසත් අපගේ තණකොළ, ආසනික් හා රසදිය යෙදූ පළිබෝධ නාශකවලින් විනාශ කර දැමීම ද වහා නතර කළයුතුය. රට පිටිකිරි රොඩ්ඩ ලාභයට ලද පමණින් ඒ ර‍ටේ ගොවියන් පොහොසත් කරන පුරුද්ද නතර කළයුතුය. දේශයේ ගුණ සුවඳ රැඳුණු, දේශීය කිරි ගොවියා නංවන, දේශීය නිශ්පාදන ම පරිභෝජනය කළයුතුය. ඒ අර්ථයෙන් පමණක් ඉන්දියානුවෙකු විය යුතුය.


Quoted from "Elakiri"